සුභ පැතුම්




සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ පණිවිඩය


පෞරුෂය වඩාත් නංවන්නක්

ඉගෙනීම ජීවන ක්‍රියාවලියකි.එහෙත් සිය ජීවිතය පුරා ම කෙනෙකුට ඒ සඳහා ලැබිය හැකි ඉඩ ප්‍රස්ථා ඉතා විරලය. ඒ ජීවිතය පවත්වා ගෙන යාමට ඉන් පරිබාහිර වූ ක්‍රියාකාරකම් බොහෝ නිසාය. එබැවින් ළමා කාලය ඉගෙනීමට මහත් වූ පිටිවහලක් ලබා දෙන බව ප්‍රත්‍යක්ෂයෙන් ම අපි දනිමු.
වසර 13ක් පමණ වූ ළමා විය ඉගෙනීම විධිමත් ව කර ගෙන යාමට මහත් වූ සහන කාලයකි. ඉගෙනීම වඩාත් අර්ථවත් වන්නේ පොත පත ඇසුරෙන් කරුණු හැදෑරීමෙන් පමණක් ම නොවේ. බාහිර ක්‍රියාකාරකම් ද  ඊට එක් කොට පෞරුෂය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද අපට බැහැර කළ හැකි නොවේ.
යහපත් සමාජයක් උදෙසා සංහිඳියාව පදනම් කොට ගත් යහපාලන සංකල්පයන් මගින් සමබර මානසිකත්වයකින් යුතු ජනතාවක් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උදාරතර මෙහෙවර තුළ පිරිපුන් ළමා ජීවිත අපේක්ෂාවන් මුදුන්පත් කර ගනු පිණිස ක්‍රීඩාව මහත් වූ දායකත්වයක් සලසන බව මගේ  උපරිම විශ්වාසයයි.
සහභාගීත්වය, සුහදතාවය, ජය පරාජය සම සේ විඳිමින් සහෝදරත්ව හැගීම් ඔස්සේ සමබර මානසිකත්වයක් වෙනුවෙන් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත කරමින් සබරගමුව පළාතේ සිසු දරුවන් ඊට යොමු කරලීමට පළාතේ අධ්‍යාපන බලධාරීන් දක්වන ක්‍රියාකාරී උනන්දුව මා මහත් සේ අගයමි. ඒ සඳහා වෙහෙසෙන පළාත් අධ්‍යාපන ලේකම්තුමා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ප්‍රධාන ව කලාප අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් මෙන් ම සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් වෙත මගේ විශේෂ ස්තූතිය මෙම අවස්ථාවේ පළ කරනු කැමැත්තෙමි.

ඔබ සැමට ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ පිහිටයි!




නිලූකා ඒකනායක
පළාත් ආණ්ඩුකාරවර
සබරගමුව පළාත